Saturday, January 16, 2021

මිණිපේ දකුණු ඉවුරු ඇළ ...

 පැරණි රජ දරුවන් මහවැලි ගඟ හරහා වේල්ලක් බැඳ ඒ මගින් ජලය හරවා කෙත්වතු සරු කර කරන්නට ගත් අතීත උත්සාහයක් වූ මිනිපේ වේල්ල අසලින් අලුතින් ඇරඹුණු මිනිපේ උල්හිටිය ඇළ මාර්ගය මහවැලි ව්‍යාපාරයේ වාරි ඉදිකිරීම් අතර ඉතා වැදගත් තැනක් ගනී.  දකුණු ඉවුරු ඇල  (RB canal) යනුවෙන්ද  හඳුන්වන මෙය මෑත ඉතිහාසයේ  නිර්මාණය කරන ලද විශ්වකර්ම වැඩක් ලෙස හැඳින් වූවාට එහි කිසිදු අතිශෝක්තියක් නැත .



මහවැලි සංවර්ධන  ව්‍යාපාරය යටතේ කඩිනමින් ඉදි කළ යෝධ උල්හිටිය ජලාශයටත් එතැනින් රත්කිද හා මාදුරු ඔය ජලාශයන්ටත් මහවැලි ජලය ගෙන යාම සඳහා තැනූ දිගින් කිලෝ කිලෝ මීටර් 31 පමණ වූ මෙම ඇල සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් දමා ආස්තරණය කිරීම් එහි ඇති විශේෂ ලක්ෂණයක් ලෙස කිවහැකිය . මහවැලි සංවර්ධන මණ්ඩලය ලෙස කලින් හැඳින්වූ මහවැලි  ඉංජිනේරු හා නිර්මාණ ඒජන්සියේ (MECA) දේශීය ඉංජිනේරු ශිල්පීන්ගේ සැලැස්මක් අනුව නිර්මාණය කළ මෙය,  දේශයට මහත් ආඩම්බරයකි . මිණිපේ ඉපැරණි වේල්ලට මීටර් සීයක් පමණ පහලින් ඊට වඩා මීටර් එකක් පමණ උස් වන සේ තනා ඇති නව වේල්ල නිසා හරස්වන මහවැලි ජලය එහි ඉදිකළ නව සොරොව්ව තුළින් යථෝක්ත විස්කම් ඇළට ඇතුළු වේ. ගේට්ටු 6 කින් යුත් මෙම ප්‍රධාන සොරොව්ව රොන්මඩ ඉවත් කිරීම සඳහා සැලසුම් කළ විශේෂ ගේට්ටු දෙකකින් ද යුක්ත වේ. මෙම මහ වේල්ලත්,  සොරොවුවත් ඇලේ කිලෝමීටර් 3.24 පමණ ප්‍රමාණයක් ද නිමකර ඇත්තේ , ලාංකීය ඉංජිනේරු ශිල්ප තුළින් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයට එවකට අයිත්ව තිබූ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ( SD & CC) විසිනි .

මෙම ඇළ ඔස්සේ මිනිපේ සිට උල්හිටිය දක්වා පැමිණෙන්නෙකුට මේ හැර දකින්නට ලැබෙන තවත් විස්කම් නිර්මාණ රැසකි.  මෙම දකුණු ඉවුරු ඇළේ පළමු කිලෝමීටර් 3.24   පසුකර එනවාත් සමඟම විශාල ගංගාවක් සේ දිස්වන බදුලු ඔය හරහා යාමට එයට සිදුවේ. මිණිපෙන් හැරවුණු මහවැලි ජලය බදුලු ඔයට එක් නොවන සේ බදුලු ඔයට උඩින් ගිනි පෙට්ටි පාලමක් සේ සකස් කළ කොන්ක්‍රීට් ඇළක් එහි නිර්මාණය කර ඇත . බදුලු ඔය පැන්නුම ( Badulu Oya Aqueduct ) යනුවෙන් එය හැඳින්වේ.





 බදුලු ඔය පසු කරනවාත් සමගම හමුවන තරමක් කඳු ගැටයකි . එම කන්ද වටා ජලය ගෙන ගියා නම් ඇල තවත් දීර්ඝ වනවා මෙන්ම වියදම තවත් අධික වන නිසා කෙටි උමගක් මගින් ජලය ගෙන යාමට සකස් කරන ලදී . බදුලු ඔය උමග යනුවෙන් හැඳින්වෙන මෙම උමගය මීටර් දෙසීයක් පමණ දික් වන අතර මීට්ර් 6.25 විශ්කම්භය ඇති ව ඉදි කරන ලද්දකි .

පළමු කිලෝමීටර් තුනක් 3.24 සිට 4.7 දක්වා ම ඇළ මාර්ගයත්,  බදුලු ඔය හරහා ඉදිකළ ගිනිපෙට්ටි පාලමත් ,  බදුලු ඔය උමගත් ඇතුළු සියලු කාර්යයන් නිම කරන ලද්දේ  ලාංකික ඉංජිනේරු හා ආයතනයක් වූ ලංකා සංවර්ධන ඉංජිනේරු සමාගම විසිනි ( CDE) . මෙසේ ගමන් ගන්නා  දකුණු ඉවුරු ඇළ උල්හිටිය ජලාශයට එක්වීමට පෙර තවත් කුඩා ජලාශ තුනක් සාදයි . මෙහිදී මුලින්ම හමුවන්නේ ලොග්ගල්ඔය ජලාශයයි . පළමු ගබඩාව වන මෙය සඳහා ලොග්ගල්ඔය හරහා කිලෝමීටර් එකහමාරක් පමණ වූ වේල්ලක් තනා ඇත. මෙසේ පිටවන ජලය තවත් කිලෝ කිලෝමීටරයක් පමණ කොන්ක්‍රීට් ඇළ ඔස්සේ ම ගමන් කොට, තවත් විශාල ජල ජලාශයක් සාදයි . එය හෙප්පොල ඔය ජලාශයයි . එම හෙප්පොල ඔය හරහා කිලෝමීටර් දෙකක් පමණ වූ වේල්ලක් බැඳ සාදා ඇති  හෙප්පොල ඔය ජලාශය මිනිපේ දකුණු ඇලේ දෙවන ජල ගබඩාවයි . හෙප්පොල ඔය ජලාශයෙන් නික්මෙන ජලය කිලෝ කිලෝමීටර් විසිපහක් ම නැවතත් කොන්ක්‍රීට් ඇළ ඔස්සේ ම ගමන් කොට දියබානා ඔය හරහා බැඳි වේල්ලක් මගින් තුන්වන ජල ගබඩාව වන දියබානා ඔය ජලාශය සාදමින් උල්හිටිය ජලාශය දක්වා ගමන් කරයි .

මෙම විස්කම් ඇලයේ පළමු කිලෝමීටර් 4.7  සිට කිමී 30.8 දක්වා වූ ඉතිරි කොටස් ඉදිකරන ලද්දේ ඉතාලියේ වියානනි නම් සමාගම විසිනි ලොග්ගල්ඔය ,  හෙප්පොල ඔය හා දියබානා ඔය ජලාශයන්හි වැඩි ජලය ඉවත්වීම සඳහා තනා ඇති පිටවාන අලුත්ම නිර්මාණයකි . ලංකාවේ වාරි කර්මාන්තයේ දී පළමු වතාවට භාවිතා කරන “ ලැබ්‍රින්ත් පිටවාන”   ( Labyrinth spillway ) නැමැති මෙම විශේෂ පිට වාන වැඩි ජල ප්‍රමාණයක් එකවර පිටවීම , වියදම අඩුවීම මෙන්ම වැඩි ජල පීඩනයකට ඔරොත්තු දීම සඳහා ත් නිර්මාණය කරන ලද්දකි . මෙම නිර්මාණ අප ජනතාවට අලුත් අත්දැකීමක් ලබා දෙන සුවිශේෂී නිර්මාණයක් වේ.




මුළු දිග කිලෝමීටර් 30.8 ක් එනම් සැතපුම් 19 1/2 පමණ වන මෙම විස්කම් ඇල සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් දමා ආස්තරණය කර ඇති අතර , එහි තත්පරයකට ජලය ඝන මීටර් 64 (හැට හතරක් ) ගෙනයා හැකිය . එය කලාවැව සිට ජලය ගෙන යෑමට අලුතෙන් ඉදි කළ නව ජයගඟ ගමන් කරන ප්‍රමාණය මෙන් දෙගුණයකි. සැතපුමකට අඩි 1 ක බැස්මක් මෙන්ම මිණිපේ වේල්ලේ සිට උල්හිටිය ජලාශය දක්වා අඩි 20ක පමණ සම්පූර්ණ බැස්මක් ඇති වන සේ මෙම විස්කම් ඇළ නිර්මාණය කර ඇත .

සැතපුම් 19 මාරක් දුර ගමන් ගත්තත් ජලාශ තුනක් සාදමින් එකතු වන ලොග්ගල්ඔය , හෙප්පොල ඔය හා දියබානා ඔය ජලාශවල ජලය හැර මෙම ඇළට අතරමගදී වෙනත් කිසිදු ජලමූලාශ්‍රයක එකතුවක් නොවේ . මෙම ඇළ ඇළ ගමන් ගන්නා මාර්ගය හරහා ඉපැරණි දිය පාරවල් , ගංගා ඇළ දොළ ආදිය හමුවුවත් ඒ සියල්ලටම උඩින් හෝ යටින් ගමන් කරන සේ කොන්ක්‍රීට් වලින් ම සකස් කරන ලද පාලම් මගින් ඇළෙහි වතුර ගමන් කරවනු ලබයි . ඉපැරණි වාරි කර්මාන්ත වලින් ගොවිතැන් කරන ගොවීන් ට තමන් එතෙක් වගාවන්ට යොදාගත් වාර් ජලය බාධා වීමකින් තොරව එලෙසම ලබා ගැනීමට එය පහසුවක් වේ . එපමණක් නොව ලොග්ගල්ඔය පොල ඔය දියබානා ඔය ආදී වාරිකර්මාන්ත යටතේ ගොවිතැන් කළ ප්‍රදේශයේ ගොවීන්ට දෙකන්නයේම ගොවිතැන් කර ගැනීමට බාදාවකින් තොරව මහවැලි ජලය ලැබීමද මෙම විස්කම් ඇළ මගින් ඉටුවේ.

පස් ඝණ මීටර ලක්ෂ 60  ඉවත් කරමින්, එසේම ගල් ඝණ මීටර් ලක්ෂ 7 ½ ක් ඉවත් කරමින්, සිමෙන්ති කොට්ට මිලියන ගණනක් යොදා, අප රටේ හා ලෝක බැංකු ණය ආධාර යටතේ ඉදි කළ මෙම විස්කම් ඇලෙන් පෝෂණය වන ප්‍රදේශයේ කෙත්වතු වල එක් වසරක අස්වැන්නෙන් පමණක් මෙයට වියදම් වූ මුදල පියවා ගත්තාට සැක නැත.

මාදුරුඔය ජලාශය මහවැලි දියෙන් පුරවා සමස්ත මහවැලි බී කලාපයත් , ඉන් ඔබ්බට නැගෙනහිර ත් මහවැලි දියෙන් පෝෂණය කරන්නට ප්‍රධානතම අත්උදව්කරුවා වූ මිණිපේ දකුණු ඉවුරු ඇළ සැබැවින්ම අනාගත පරපුර වෙනුවෙන් තිළිණ කළ මහඟු දායාදයකි.

No comments:

Post a Comment

මිණිපේ දකුණු ඉවුරු ඇළ ...

  පැරණි රජ දරුවන් මහවැලි ගඟ හරහා වේල්ලක් බැඳ ඒ මගින් ජලය හරවා කෙත්වතු සරු කර කරන්නට ගත් අතීත උත්සාහයක් වූ මිනිපේ වේල්ල අසලින් අලුතින් ඇරඹුණු...